ආර්ථික ස්ථාවරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සමබර කිරීමට කටයුතු කරනවා සේම සමාජ පීඩනය නැති නොකළ හොත් සමාජ ප්‍රතික්‍රියාවක් ඇතිවීම වැලැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් පළකරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ සඳහන් කළේය.
“පමා වී නමුත් 22 සංශෝධනය ගෙන ඒම ගැන අපි අධිකරණ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. බලාපොරොත්තු වූ 19 සංශෝධනය වැනි ජනාධිපති ධුරයේ බලය පාර්ලිමේන්තුවත් සමඟ යම් ආකාරයකට තුලනය කර ගැනීමේ යම් යම් හොඳ තත්වයන් තිබෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය බැලිය යුත්තේ අද අපි වර්තමානයේ පත්වෙලා තියෙන බංකොලොත් භාවයට සාපේක්ෂව.
ජාතික අනන්‍යතාවය, ආගමික අනන්‍යතාවය මත සමහර වෙලාවට බල දේශපාලනය කරනවා. මේ පනත සම්මත වුණොත්, මේ සංශෝධනය ගෙනාවොත්, ආණ්ඩුවට වාසි වෙයිද? විපක්ෂයට වාසි වෙයිද? කියලා බලලා අපි කටයුතු කරනවා. මෙය එවැනි ආකාරයේ අනන්‍යතා දේශපාලනයකට හෝ බල දේශපාලනයකට නෙවෙයි. බංකොලොත් රට ඉදිරියට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න ජනතාවගේ විශ්වාසය තහවුරු කරගත යුතු වෙනවා.
ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි වගවීමෙන් කටයුතු කළ යුතුයි.
අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට, අපේ පක්ෂයට මේකෙන් වදිනවා. අපේ නායකයාගේ බලතල අඩුවෙනවා. මේ විදියට අපි කල්පනා කරන්නැතුව අපි මේ සම්බන්ධයෙන් විවෘත තීරණයක් ගන්න කියන එක මම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔබේ පමණක් නෙමෙයි මේ මුළු රටේම අනාගතය මේ ආකාරයට අපි කරන ප්‍රතිසංස්කරණ මත රැඳෙන නිසා. මෙහි මොකක්ද මුලධර්මය? මූලධර්මය තමයි ස්ථාවරත්වය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස.
අපි දැක්කා එංගලන්තේ මොකද වුණේ කියලා. ගෝඨාභය රාජපක්ෂ 2019 දෙසැම්බර් 01දා කළා වාගෙම බදු සහන දීමක්, ධනපතියන්ට ලිබරල් බදු සහන දීමක් තමයි ලිස් ට්‍රස් මැතිනිය එංගලන්තයේ කළේ. වෙළඳපොළ, මුල්‍ය අරමුදල වගේම ආණ්ඩුව තුළින්ම ප්‍රතික්‍රියාවක් ආවා. එතුමියටත් ඉල්ලා අස්වෙන්න වුණා දින 45ක් ඇතුළත. එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වැඩ කරන ක්‍රමය. ලංකාවෙත් 2/3 බලය තමන් අතේ පවත්වගෙන ගිය නිසා මේ රට බංකොලොත් වෙනකන්ම එවැනි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමකට ගමන් කළේ නැහැ.
කාබනික ගොවිතැනට 100% ගමන් කිරීම, බදු සහන ලබාදීම, ඩොලරය රුපියල් 203 තබාගන්න ඩොලර් බිලියන 5.5ක් නාස්ති කිරීම, මුල්‍ය අරමුදල විසින් ණය ස්ථාවර නොවෙන බව ප්‍රකාශ කොට තිබියදී ණය ස්ථාවර කිරීමට කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම. රුපියල් බිලියන 3000ක් සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් හැටියට අද උද්ධමනය 66% ඇවිල්ලා.
අධික විදුලි බිල, අධික ඉන්ධන බිලෙන් අද රටේ මිනිස්සු පීඩාවට පත්වෙලා, මේවාට හේතු වුණේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතික්‍රියාවක් ඇති නොවීම. යම් ආකාරයට පාර්ලිමේන්තුවත් එක්ක බලය බෙදා ගැනීම ජනාධිපතිවරයා ගේ තිබුණා නම් මේ තත්ත්වය අපිට වෙනස් ආකාරයකට ගමන් කරන්න ඉඩකඩ තිබුණා. මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත් එක කාරණයයි බලන්නේ. ඒ මුල්‍ය විතරයි. සමාජ පීඩනයට වෙන්නේ මොකක්ද කියලා බලන්නේ නෑ.
ඒ නිසා බදු පිට බදු ගහමින්, ආදායම් වැඩි කරගැනීමට උත්සාහ කරමින්, ආනයන සීමා කරමින්, මේ මුල්‍ය ස්ථාවරත්වය රැකගන්න බලනවා. ඒ හරහා කර්මාන්ත කීයක් වැහෙනවද? රැකියා කීයක් අහිමි වෙනවද? ආදායම් කොපමණ ප්‍රමාණයක් නැති වෙනවද කියලා හොයන්නේ බලන්නේ නැහැ.
2019 දී සම්පූර්ණයෙන්ම දවසකට කිලෝ කැරලි 2000 කියන අවම ප්‍රමාණය නොලැබෙන ජනතාව හිටියේ 1.5යි. අද ඒක 6.5 වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය දුප්පත්කම වැඩිවෙලා තියෙනවා. ජනතාවගේ ආදායමෙන් 32%යි 2019දී ආහාර වලට වියදම් කළේ. අද සීයට 75ක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි මතක තබා ගත යුතුයි මුල්‍ය ස්ථාවරත්වය හොයාගෙන යන ගමනේදී සමාජ ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය ලැබෙන්නෙත් නෑ.
එක පැත්තකින් ආර්ථික ස්ථාවරත්වයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි අතර සමබරතාවයක් ඇතිකරගන්නවා වගේම සමාජ පීඩනයේ ස්ථාවරතාවයක් ඇතිකරගත්තේ නැත්නම්, ඊළඟ වටයේ දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් සමාජයෙන් එල්ල වෙන්න නියමිතයි. මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරපු ඉතිහාසයක් පහුගිය අවුරුදු 74 තිබුණේ. නමුත්, සෘජු ක්‍රියාමාර්ගයක් මගින් මැයි 09දා ආණ්ඩුව පලවා හැරියා. ඒ වගේම ජූලි 09දා මේ රටේ බලගතුම තනතුර රටෙන් පලවා හරින්න ජනතා ක්‍රියාකාරිත්වය සමත් වුණා. අපි අමතක කරන්න හොඳ නැහැ නව සමාජ වාතාවරණයක් තුළ ව්‍යවස්ථාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වීමට හැකි නව තරුණ පරපුරක් ඇතිවෙලා තියෙනවා. අපි වගකීමෙන් මේ අවස්ථාවේ ක්‍රියාකළ යුතුයි.”