මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා සිටි බව ද දයාසිරි ජයසේකර පැවසීය.
“කිසිම වෙලාවක මම මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ. හැබැයි ඇයගේ ව්‍යාපාරවලට අපි සල්ලි දාලා තියෙනවා කියලා තමයි සමාජ මාධ්‍ය ජාලාවල යන්නේ. අපි එවැනි තැන්පතුවක් කරලා නෑ. ඇය සමග කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් කරලත් නෑ. මම පහුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා මහා තෙල් වංචාව ගැන කතා කළා. ජනතාවට වැඩි මිලට තෙල් ගන්න වෙලා තියෙන තත්ත්වයන් ගැන. ආණ්ඩුවේ ඉඳලා එළියට ආවහම අපිට ගහන්න පටන් ගත්තා. මම ඉදිරිපත් කරපු චෝදනාවලට උත්තර නොදී මගේ ගෙවන්න තියෙන ලයිට්බිලක් අරන් ගහන්න පටන් ගත්තා.දැන් මේ මඩ දිගින් දිගටම ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙනවා. මම දන්නවා යම් අමාත්‍යවරයෙක් මේකට සම්බන්ධයි. ඒ වගේම සමාජ මාධ්‍ය හසුරවන කලාකරුවෙක්. ඔවුන්ගේ පැත්තෙනුත් මේක ගියා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.”