ආර්ථිකය ගහෙන් වැටුණා…රනිල් ඇවිල්ලා දැන් ඇනගෙන ඇනගෙන යනවා

277
Published on October 24, 2022 by

 

සයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එම ශ්‍රී ලාංකිකයන් අතට ගැනීමට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව සිදු කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ලෙහෙසියෙන් කළ හැකි කාර්යයක් බවත් පිලිපීන රජය එම පියවරයන් මේ වන විටත් සිදුකර ඇති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අර්බුදය වවාගෙන කෑමේ උපායමාර්ගයක සිටින වත්මන් ආණ්ඩුව එවැන්නක්වත් සිදු නොකරන බවට චෝදනා කර සිටියි.

ඊයේ (23) රත්නපුර නගර ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘රුවන්පුර සම්ප්‍රාප්තිය’ සමුළුව අමතමින් ඔහු මෙසේ පැවසීය.

“අර්බුදයේ ගැඹුර අපි කියලා දුන්නත් නැතත් අපේ ජන සමාජයේ සෑම සමාජ ස්තරයක්ම එම අර්බුදයේ පීඩාවේ ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. එම අර්බුදය කලින් දැකලා, එහි බලපෑම අවම කර ගැනීම සඳහා ඉදිරි පියවර නොගත් පවුල් පාලනයක සිරකරුවකු බවට පත්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එහිම ප්‍රතිඵලයක් හැටියට තනතුර අතහැර පලා යාමට සිදු වූවා.

එතුමා ලෝකය පුරා වටයක් ගහලා ආයෙත් ලංකාවට ආවා. එහෙම ආවාට පසුව එතුමා සමීපව ඇසුරු කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට පවසා තිබුණා, ‘මගේ නම් දැන් කොලෙස්ටරොලුත් නැහැ, සීනිත් නැහැ, ප්‍රෙෂරුත් නැහැ’ කියා. එතුමාට නම් ඒවා නැති වුණා. නමුත් අපි හැමෝටම නම් ඒ ඔක්කොම ඇති වුණා.

‘ආර්ථිකය’ ගහෙන් වැටුණා. දැන් ‘රනිල්’ ඇවිත් ඇනගෙන ඇනගෙන යනවා. මේ අයට මේ අර්බුදය පියමං කරන්න කිසිම උවමනාවක් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. සයිප්‍රස්වල රැකියාවලට ගිය අය අතර දෙවැනියට වැඩියෙන් ඉන්නේ ශ්‍රී ලාංකිකයන්. ඒ රටේ විදෙස්ගත ශ්‍රමිකයාට පවා ගෙවනවා සමාජ ආරක්ෂණ මුදලක්. එසේ ශ්‍රී ලාංකිකයන්ට ගෙවනු ලැබූ එකී සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එහි බැංකුවක ගොඩගැසී තිබෙනවා.

එම මුදල් ඔවුනට ලබා ගැනීමට බැහැ. නමුත් පිලිපීන ජාතිකයන්ට එම මුදල් ලබාගැනීමට පුළුවන්. ඒකට හේතුව තමයි පිලිපීනයේ කම්කරු ඇමති හෝ විදේශ රැකියා ඇමැති සයිප්‍රසයට ගිහිල්ලා දෙරට අතර ගිවිසුමක් අත්සන් කරලා ඒක ලැබෙන විදිහට හදා ගැනීම. මේ රටේ කම්කරු ඇමතිවරු, විදේශ රැකියා ඇමතිවරු එදාත් හිටියා, අදත් ඉන්නවා. නමුත් සයිප්‍රසයට ගිහිල්ලා අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව කරලා ඉහත කී යුරෝ බිලියන ගණන අපේ ශ්‍රී ලාංකිකයන් අතට ගන්න කිසිවක් කරනවා ද?

ඒකවත් නොකරන්නෙ අර්බුදය වවාගෙන කන උපායමාර්ගයේ සිටින නිසයි. මේවා රොකට් සයන්ස් නොවෙයි, සාමාන්‍ය කාරණා. තාමත් බලන්නේ අම්මාගෙ දේහය ගෙදර තියාගෙන හැකිතාක් කාලයක් බූරුවා ගහන්න. එවැනි ප්‍රයෝජ්‍යවාදී ප්‍රවේශයක් නොවෙයි අද මේ රට ඉල්ලන්නෙ.

අර්බුදය වවාගෙන කන හින්දා තමයි ඉන්දියාව සමඟ ‘එට්කා ගිවිසුම’ අත්සන් කරන්නේ. දැන් මිනිස්සු ඉන්නෙ පීඩාවෙන් හෙම්බත් වෙලා, ඒ නිසා ඒවාට එරෙහිව සංවේදීව පෙරට එන එකක් නැහැ, කියලයි මේ පාලකයන් හිතන්නේ. ඒ නිසා ඉදිරියේදී අත්සන් කිරීම වළක්වා ගත්තු බොහෝ රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීමටයි සූදානම් වෙන්නේ. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපූරු උපදේශකයකුත් ගෙනාවා, මේ රට, මේ අර්බුදයෙන් ගොඩගන්න. ඒ තමයි එරික් සෝල්හයිම් මහත්තයා. මෙහෙම යෝධයෝ ගෙන ඒමෙන් පෙනෙනවා, ‘මේ අර්බුදය පාවිච්චි කරනවා මිසක් විසඳන්නේ නැහැ’ කියා.

Category Tag